Thursday, August 16, 2012

[1] ඇරඹුම + බ්ලොග් එකට බැනර් එකක් .....

ඔන්න යාළුවනේ අළුත් මල්ලි හාහාපුරා කියලා එයාගේ බ්ලොග් එකේ කුරුටුගාන්න පටන් ගත්තා. දැන් ඉතින් මේක කියවන ජේශ්ඨ උත්තමයොන්ටත් මතක් වෙනවා ඇති තමන්ගේ බ්ලොග් එකට පළමුවෙනි පෝස්ට් එක දැම්ම දවස. හැබෑටම එදා මොනවද හිතුනේ...... එදා ඔයාලට හිතුන දේ අද අළුත් මල්ලිටත් ඒ විදිහටම හිතෙනවා. වැඩේ පටන් ගන්නත් කලින්ම Nishantha අයියයි සයුරි අක්කයි ඇවිල්ලා අළුත් මල්ලිව ධෛර්යමත් කළා. ඒ හින්දම අද මොනව හරි බ්ලොග් එකට දාන්න ඕන කියලා හිතුනා. "කල්පනා කර කර හිටියට පාරේ ගල් ගැලවෙන්නේ නෑ" කියලා කතාවටත් කියනවනේ. අතපය හෙලෙව්වොත් තමයි මොන වැඩේ වුනත් හැබෑවටම කෙරෙන්නේ.

අළුත් මල්ලි මුලින්ම ඔයාලට දෙන්න කියලා හිතුවේ අළුත් මල්ලිම හදපු පොඩ් සොෆ්ට්වෙයාර් කෑල්ලක්. ඇත්තටම කියනවනම් Wallpaper changer එකක්. හදලා පැත්තකට දාලා තිබ්බ ඒක අද ආයෙමත් හොයාගෙන දූවිලි පිහදලා බැලුවා. තව ටිකක් සංවර්ධනය කරලම ඒක දුන්නනම් හොඳයි කියලා හිතුන නිසා ඒ වැඩේ කල් දැම්මා. අද එහෙනම්
යාළුවන්ට මෙහෙම දෙයක් ගේන්නම් . බ්ලොග් එකකට පොඩ් බැනර් එකක් හදන විදිහ අපි බලමු. ඒක හොඳයි නේද?

මේ කියන්න යන්නේ ඇනිමේෂන් එකක් තියෙන බැනර් එකක් ගැන. වඩුවගේ ගෙදර පුටුව නෑ වගේ මගේ බ්ලොග් එකෙත් බැනර් එකක් නම් නෑ. අපි පස්සේ දා‍මුකෝ එකක්. එහෙමනම් අපි වැඩේට බහිමු. මුලින්ම මේ ලින්ක් එකට ගිහින් ඒකේ තියෙන කොරල්‍ ඩ්‍රෝ කියන මෘදුකාංගය බාගන්න.


Download   173Mb

1. Download මත ක්ලික් කරන්න.
2. මඳක් රැඳී සිටින්න.
3. SKIP AD මත ක්ලික් කරන්න.
4. Download මත ක්ලික් කරන්න.

 
ලේසියට මේ දීලා තියෙන්නේ කොරල්‍ ඩ්‍රෝ වල 11 කියන සංස්කරණය. අළුත් සංස්කරණ ටිකක් බර වැඩි නිසා මේක දුන්නේ. අපේ වැඩේට මේක හොඳටම ප්‍රමාණවත්. ඉන් පස්සේ අනිත් මෘදුකාංග ඉන්ස්ටෝල් කරනවා වගේ මේකත් ඉන්ස්ටෝල් කරගන්න.

දැන් Start > All programs > Corel Graphics Suit 11 > Corel R.A.V.E 2.0 ගිහින් Corel R.A.V.E කියන එක ඕපන් කර ගන්න.




ඊට පස්සෙ‍් ඔයා‍ලගේ බ්ලොග් අඩවියේ Dashboard එකට යන්න. ඒ කියන්නේ blogger වලට Log in වෙලා බ්ලොග් සයිට් එක තියෙන තැනට යන්න. දැන් මෙහෙමයි කතාව. මුලින්ම කරන්න තියෙන්නේ තමන්ගේ බ්ලොග් අඩවියට ගැලපෙන බැනර් එකේ ප්‍රමාණය හොයා ගන්න එක. ඒකට ඉතින් එක එක ප්‍රමාණ වල බැනර් කීපයක් දාලම තමා බලන්න වෙන්නේ. බැනර් එකක් ප්‍රමාණය මනින්නේ පික්සල් වලින්. මගේ බ්ලොග් එකට නම් පික්සල් 950 ක් පළල පික්සල් 150 උස බැනර් එකක් ගැලපෙනවා. මේ උස පළල තීරණය කරන්න ඕන තමන්ගේ රුචිකත්වය අනුව. කොහොමද හරියටම ගැලපෙන උස පළල දැනගන්නේ? ‍ මෙතනදි අපිට වෙන කාගේ හරි සයිට් එකක තියෙන බැනර් එකක් දාලා බලන්න පුලුවන්. අපි බැනර් ටිකක් හොයාගමුකෝ එහෙනම්. google.com ගිහිල්ලා ඒකේ Images වලට යන්න. දැන් Banner කියලා ටයිප් කරන්න. එතකොට එනවා ඕන තරම් බැනර්ස්. ඒත් ඒවා එක එක සයිස් නිසා වැඩේ ටිකක් කරදරයි. ඒ නිසා වම් පැත්තේ තියෙන image size තෝරන තැනින් Exactly... කියන ලින්ක් එක උඩ ක්ලික් කරන්න.

දැන් එතන උස 150 ත් පළල 950 ත් විදිහට ඇතුළත් කරලා Search කියන බට්න් එක උඩ ක්ලික් කරන්න. එතකොට හරියටම අපි ලබා දුන්න උස පළල තියෙන බැනර් ලැබෙනවා. දැන් ඒ කැමති එකක් කම්පියුටරේට ඩවුන්ලෝඩ් කරගන්න.

ඊළඟට තියෙන්නේ බ්ලොග් එකට බැනර් එක ඇතුළත් කර ගන්න එක. ඒක හරිම ලේසියි. ඒකට බ්ලොග් Dashboard එකේ තියෙන Layout තෝරන්න.




දැන් ඒ පිටුවේ තියෙන්නේ අපේ බ්ලොග් අඩවියේ සැළැස්මනේ. අපිට ඕන බ්ලොග් එකේ Title එක පිටුපසට ඒ කියන්නේ Header එකට බැනර් එක ඇතුළත්කරන්න. ඕනනම් Title එක අයින් කරලාදාලම බැනර් එකක් විතරක් දැම්ම හැකි. එහෙම කරනවනම් බ්ලොග් එකේ නමත් බැනර් එකේම ටයිප් කරන්න ඕන. ඒ නිසා වැඩිය හොඳයි Title එකේ පිටුපසට බැනර් එක දාන එක. කොහොමහරි ඒකට Header කියන කොටසේ තියෙන Edit උඩ ක්ලික් කරන්න.




එතකොට විවෘත වෙනවා Configure Header කියලා පිටුවක්. ඒකේ පහල තියෙන Image කියන තැන තියෙන From your computer: කියන ඔප්ෂන් බට්න් එක තෝරන්න. දැන් Browse කියන බට්න් එක ක්ලික් කරලා අපි තෝර ගත්ත බැනර් එක අප්ලෝඩ් කරගන්න පුළුවන්.



මේ විදිහට එක එක ප්‍රමාණ වල බැනර් අප්ලෝඩ් කරලා හිතට අල්ලන ප්‍රමාණය තෝර ගන්න. බැනර් එක අප්ලෝඩ් කළාට පස්සේ සයිට් එක මෙන්න මේ වගේ තියෙන්න ඕන.


දැන් හරි... ඊළඟට කරන්න තියෙන්නේ ඒ ප්‍රමාණයට සමාන බැනර් එකක් හදා ගන්න එක. ඒකට අපි පාවිච්චි කරන්නේ COREL R.A.V.E 2.0. මේ වෙනකොට COREL R.A.V.E විවෘත කරලානේ තියෙන්නේ. මුලින්ම දිස්වෙන බොක්ස් එකෙන් New Movie කියන එක තෝරන්න. එතකොට අපේ ඇනිමේෂන් එක හදන්න පිටුවක් විවෘත වෙනවා.

දැන් අපි අපේ බැනර් එකට අවශ්‍ය ප්‍රමාණයට පිටුවේ දිග පළල සකස් කර ගන්න ඕන. ඉහල වම් කෙළවරේ තියෙනවා page size එක වෙනස් කරන්න තැනක්. මේ රූපයේ වගේ.



අන්න එතන අපි තෝරගත්ත බැනර් එකේ ප්‍රමාණය දෙන්න. මගේ නම් උස 150 යි. පළල 950 යි. එතකොට ඒ ප්‍රමාණයට පිටුව සකස් වෙනවා. දැන් මේ‍ ප්‍රමාණට බැනර් එක ඩිසයින් කරන්න ඕන. බැනර් එක ඩිසයින් කරද්දි වටේ වැඩිපුර කොටස් තිබුනත් ගැටළුවක් ඇති වෙන්නේ නෑ. ඒවා ඇනිමේෂන් එක හදලා ඉවර වෙලා සේව් කරන වෙලාවේ ඉවත් කරන්න පුළුවන්.

මං හදන්න යන්නේ ඉමේජ් 4ක් තත්පර 5න් පහට මාරු වෙන ඇනිමේෂන් එකක්. මුලින්ම කරන්න තියෙන්නේ කැමති රූපයක්  copy කරලා COREL R.A.V.E උඩට paste කරගන්න එක. සාමාන්‍ය විදිහට Ctrl+C ඔබලා කොපි කරලා Ctrl+V ඔබලා පේස්ට් කරන්න මෙතනදිත් හැකියාව තියෙනවා. ඊට පස්සේ ඒක page size එකට ඒ කියන්නේ අපේ බැනර් එකේ සයිස් එකට ගැළපෙන විදිහට දෙපැත්තට ඇදලා re-size කරගන්න. මෙතනදි පින්තූරය විකෘති නොවෙන විදිහට වැඩේ කරන්න ඕන. දැන් පින්තූරයේ සිරස් පිහිටුම බැනර් එකට ගැළපෙන විදිහට වෙනස් කර ගන්න.




දැන් පහලට වෙන්න Timeline කියලා බාර් එකක් තියෙනවද බලන්න. තියෙන්නම ඕන. නැත්නම් Movie > Timeline තෝරන්න.  ඇනිමේෂන් එකක් හැදෙන්නේ එකිනෙකට ආසන්න වශයෙන් සමාන රූප පෙළක් එක දිගට චලනය වීමෙන්. වීඩියෝ එකකදි කෙරෙන්නෙත් මේ දේමයි. හැබැයි වීඩියෝ එකකදි තත්පරයට රූප රාමු 30ක් විතර චලනය වෙනවා. ඇනිමේෂන් එකකදි තත්පරයට රූපරාමු 10 ක් තිබුනම ඇති. Timeline එකෙන් අපි කරන්නේ ඇනිමේෂන් එක තුළ රූපරාමු පිහිටුවන එක. ඒ කියන්නේ රූප පෙළගස්වන එක. මේ වෙනකොට අපි නිර්මාණය කරපු රූපය පේන්නේ තත්පරයෙන් දහයෙන් එකක කාලයක් විතරයි. ඒ නිසා අපි මේ වගේ රූප 10 ක් නිර්මාණය කරන්න ඕන තත්පර 1ක් දර්ශණය වෙන්න නම්. තත්පර 5 ක් ඕන නම් ඒ වගේ 50ක් තියෙන්න ඕන. මේ වගේ ඕන තරම් කාලයක් චලනය වෙන්න ඇනිමේෂන් නිර්මාණය කරන්න පුළුවන්.

Timeline එකේ පුංචි පුංචි සිරස් පටි තියෙනවා නේද? මේ පටි වලට Frames කියනවා. ඒ හැම දෙයක්ම කියන්න ගියොත් ඇනිමේෂන් හැදිල්ල එපා‍ වෙනවා. ඒ නිසා සරලව තේරෙන විදිහට ඉගෙනගමුකෝ. Timeline එකේ උඩ පහළට යොමු වුණ ඊතළයක් තියෙනවා. ඒ ඊතළය දැන් තියෙන්නේ පළවෙනි පටියේ. 




දැන් ඊතළේ උඩ ක්ලික් කරලා ‍ඒක ඇදලා දෙවනි පටිය උඩට ගන්න බලන්න. එතකොට කලින් තිබුන පින්තූරය ඉවත් වෙනවා. ඒ කියන්නේ දෙවනි පටියේ මොකුත් නෑ කියන එක. මේ වගේ පටි 50ක් අපි අපේ පළවෙනි පින්තූරයෙන් පුරවන්න ඕන. ටිකක් අමාරු වැඩක් වගේ නේද? නෑ හරි ලේසියි. පළමුවෙනි පටියේ තියෙනවා කළුපාට තිතක්. ඒකෙන් නිරූපණය වෙන්නේ අපි ඇතුළත් කරපු පින්තූරය. ඒ තිතට හරියටම ඉදිරියෙන් RGB Bitmap කියලා දිස්වෙනවා. මේ වගේ අපි ඇනිමේෂන් එකට ඇතුළත් කරන ඕනම අංගයකට කළුපාට තිතක් ගානේ එකතු වෙනවා. දැන් කරන්න තියෙන්නේ ඒ තිත උඩ ක්ලික් කරලා වම් පැත්තට පටි 50ක් වෙනකන් අදින එක.



තේරුණානේ කරපු වැඩේ.. එතකොට පටි 50 ක් යනකල් අපේ පින්තූරය දිස්වෙනවා. ඊළඟට 51 වෙනි පටියට අළුත් පින්තූරයක් එකතු කරන්න ඕන. 51 වෙනි පටිය උඩ ක්ලික් කරලා කලින් වගේම අවශ්‍ය පින්තූරය කොපි කරලා පේස්ට් කරන්න. දැන් කළු තිත අළුත් තැනකට යනවා. ඒ අළුත් පින්තූරයක් නිසා. ආයෙමත් අළුත් කළු තිත උඩ ක්ලික් කරගෙන 100 දක්වා වම් පැත්තට අදින්න. 101 වෙනි පටියට ආයෙමත් අළුත් පින්තූරයක් එකතු කරන්න. මේ විදිහට පින්තූර 4 ක් එකතු කර ගන්න. අවසානය වෙනකොට සිරස් පටි 200 ක් සම්පූර්ණ වෙලා තියෙන්න ඕන.

අපි හදපු ඇන්මේෂන් එක ඕනනම් මෙතනදිම play කරලා බලන්නත් පුළුවන්. Timeline එකේ තියෙන නිල්පාට play බට්න් එක ක්ලික් කළාම ඇන්මේෂන් එක මෙතනම play වෙනවා. දැන් තියෙන්නේ අපි හදාගත්ත ඇනිමේෂන් එක .gif එකක් විදිහට සේව් කරගන්න එක.  අපේ පරිගණකයේ එක එක ගොනු වර්ග තියෙනවානේ. ඒවගෙන් GIF කියන්නේ ඇනිමේෂන් ෆයිල් වර්ගයක්. ඒ නිසා අපේ ඇනිමේෂන් එකත් GIF විදිහට සේව් කළාම හරි. ඇනිමේෂන් එක සම්පූර්ණයෙන්ම හදලා අවසන් වුනාට පස්සේ සේව් කරන්න File > Export තෝරන්න. එතකොට ලැබෙන Export ඩයලොග් බොක්ස් එකේ Save as type එක ලෙස GIF - GIF Animation තෝරලා Export බට්න් එක ක්ලික් කරන්න. අපි එකතු කරපු පින්තූර අපිට අවශ්‍ය බැනර් එකේ සයිස් එකට වඩා පිටට ගිහින් තියෙනවානම් Crop to stage කියන කොටුවේ හරියක් දාලාම ‍එක්ස්පෝර්ට් කරන්න. එතකොට වැඩි කොටස් කැපිලා අවශ්‍ය කොටස විතරක් ඉතිරි වෙනවා. අනිත් ඒවා නම් තියන විදිහටම තියලා ok කරන්න. ඕනනම් Export කරපු ඇනිමේෂන් එක firefox වල විවෘත කරලා බලන්න. ඇනිමේෂන් එක උඩ රයිට් ක්ලික් කරලා Open with > firefox ගියාම හරි. සමහර විට ඇනිමේෂන් පින්තූර බලන මෘදුකාංග වල play වෙන්නේ නෑ. එතකොට පේන්නේ පළවෙනි පින්තූරේ විතරයි. firefox වල විවෘත කළාම play වෙනවා ප්‍රශ්ණයක් නැතුව.

දැන් කරන්න තියෙන්නේ බ්ලොග් අඩවියට අපි නිර්මාණය කරපු ඇනිමේෂන් එක එකතු කරන එක. මේකත් ටිකක් ලොකු කතන්දරයක්. සමහර විට අපේ ඇනිමේෂන් එක අපි මුලින්ම බැනර් එකේ ප්‍රමාණය බලා ගන්න හදපු බැනර් එකක් එකතු කරපු විදිහ‍ට බ්ලොග් අඩවියට එකතු කරාම play වෙන්න පුළුවන්. ඒක තීරණය වෙන්නේ අපි බ්ලොග් අඩවියට දාලා තියෙන template එක අනුව. ඒ නිසා මුලින්ම ඒ විදිහට අපි හදපු බැනර් එක අප්ලෝඩ් කරලා බලන්න. play වෙනවනම් වැඩේ අහවරයි. එහෙම නැතුව නිකම්ම නිකන් ඉමේජ් එකක් විදිහට විතරක් පේනවනම් පහත දක්වලා තියෙන ක්‍රමය අනුගමනය කරන්න පුළුවන්. මුලින්ම photobucket.com වෙබ් අඩවියට පිවිසෙන්න. මේ වෙබ් අඩවිය භාවිතා කරලා අපේ ඇනිමේෂන් එක ගබඩා කරලා තියන්නත් ඒ ඇනිමේෂන් එක වෙනුවෙන් ලින්ක් එකක් ලබා ගන්නත් අපිට පුළුවන්. මේ වෙබ් අඩවියට පිවිසුනාට පස්සේ  Sign Up කියන තැන ක්ලික් කරලා අපි එයාලාගේ ගිණුමක් හදාගන්න ඕන. ඔබේ නිවැරදි තොරතුරු ලබා දීලා ගිණුම හදා ගත්තට පස්සේ Upload කියන තැන ක්ලික් කරලා අපිට අවශ්‍ය කරන රූපය අපේ පරිගණකයෙන් අප්ලෝඩ් කරන්න පුළුවන්. 




අප්ලෝඩ් කරලා ඉවර වුනාට පස්සේ album කියන පිටුවට ගියාම අපි අප්ලෝඩ් කරපු පින්තූර ඒකෙ තියෙනවා. දැන් කරන්න තියෙන්නේ බැනර් එක අපේ බ්ලොග් අඩවියට සම්බන්ධ කරන්න අවශ්‍ය කරන ලින්ක් එකක් ලබා ගන්න එක. අපි අප්ලෝඩ් කරගත්ත බැනර් එක උඩට කර්සරය ගෙනගියාම පොප්අප් මෙනුවක් මතු වෙනවා. ඒකෙන් Direct link කියන ලින්ක් එක උඩ ක්ලික් කරන්න. අපේ බැනර් එකේ ලින්ක් එක ඉබේම මෙතනදි කොපි වෙනවා.



ඊළඟට අපි කොපි කරගත්ත ලින්ක් එක අපේ බ්ලොග් අඩවියේ Header කොටසට ඇතුලත් කරන්න ඕන. ඒකට අපි යන්න ඕන බ්ලොග් අඩවියේ dashboard එකට. ඊට පස්සේ අපි මුලින් බැනර් එකේ ප්‍රමාණය තහවුරු කරගන්න කරපු විදිහට Layout > Edit (Header) යන්න. දැන් අපි කලින් ප්‍රමාණය බලන්න අප්ලෝඩ් කරපු පින්තූරය තියෙනවනම් ඒක අයින් කරලා දාන්න. ඊට පස්සේ From the web. Paste an image URL below කියන තැනට අපි කොපි තරගත්ත බැනර් එකේ ලින්ක් එක පේස්ට් කරන්න. ඊට පස්සේ Save උඩ ක්ලික් කරන්න. දැන් කතන්දරේ ඉවරයි. ඊට පස්සේ View blog උඩ ක්ලික් කරලා අපේ බ්ලොග් එකට බැනර් එක එකතුවෙලාද කියලා බලන්න පුළුවන්.

මේ පාඩම වෙනුවෙන් හදපු රූප මාරුවෙන බැනර් එක මේ බ්ලොග් අඩවියට ගියොත් බලාගත්ත හැකි. පෝස්ට් එක ලියන්න මහන්සි වුණා මිස බැනර් එක හදන්න මහන්සි නොවුන නිසා මේ බැනර් එක නම් කැතයි. උදාහරණයක් විදිහට විතරයි මේ බැනර් එක හැදුවේ.

 testmywebbanner.blogspot.com

වෙබ් අඩවි වලට බැනර් හැදීම කියන්නේ සමහරු වෘත්තීය මට්ටමෙන්ම කරගෙන යන දෙයක්. වෙබ් අඩවි නිර්මාණකරුවන් වගේම බැනර් හදන්නත් වෙනමම අය ඉන්නවා. සාමාන්‍ය මට්ටමේ බැනර් එකක් තමන්ගේ වෙබ් අඩවියට එකතු කර ගන්න නම් ඕනතරම් පහසු මෘදුකාංග අන්තර්ජාලයේ තියෙනවා. Banner Maker Pro කියන්නේ හරිම පහසුවෙන් බැනර් එකක් හදාගන්න භාවිතා කරන්න පුළුවන් මෘදුකාංගයක්. http://www.bannermakerpro.com/ වෙබ් අඩවියෙන් මේකෙ Trial version එක ඩවුන්ලෝඩ් කරගන්න  පුළුවන්. Banner Design Studio කියන්නේ ඒ වගේම තවත් එකක්. හොඳ තත්වයේ මෘදුකාංගයක්. http://www.bannerdesignstudio.com/ වෙබ් අඩවියෙන් ඒකෙත් Trial version එක ඩවුන්ලෝඩ් කරගන්න  පුළුවන්.


සමහරක් ‍වෙබ් අඩවි වලින් ‍නොමිලෙම බැනර් එකක් හදා ගන්න පුළුවන් විදිහට ඔන්ලයින් සේවා සපයනවා. Banner Fans කියන්නේ ඔන්ලයින් බැනර් හදන්න පුළුවන් වෙබ් අඩවියක්. මේ වෙබ් අඩවියෙනුත් අලංකාර විදිහට බැනර් හදා ගන්න පුළුවන්. Banner Generator හරිම ලේසියෙන් ඔන්ලයින් බැනර් හදා ගන්න පුළුවන් වෙබ් අඩවියක්. මේ විදිහට කියන්න ගියොත් බර ගානක් තියෙනවා.

මේ පෝස්ට් එක සම්පූර්ණ කරන්න Banner Maker Pro වගේ මෘදුකාංගයක් තෝරගත්ත නම් හොඳටම ඇති. ඒත් අළුත් මල්ලිගේ අරමුණ වුණේ මේ පෝස්ට් එක කියවන ‍යාළුවන්‍ට ආර්ථික වටිනාකමක් ඇති යමක් දෙන්න. මේ පෝස්ට් එක හොඳින් කියවලා මේකෙ කියලා දීලා තියෙන ටික ඒ විදිහට කරලා බැලුවනම් උසස් තත්වයේ බැනර් එකක් නිර්මාණය කරගන්න විදිහ ගැන හොඳ අවබෝධයක් මේ වෙනකොටත් අපේ යාළුවන්ට ලැබිලා ඇති. දැන් ඉතින් පුළුවන් වෙන්න ඕන ටිකක් සංකීර්ණ මට්ටමේ බැනර් එකක් නිර්මාණය කර ගන්න. මේ වෙනුවෙන් එකම එක මාසයක් මහන්සි වුණා නම් ඒ වෙනුවෙන් අන්තර්ජාලයේ රැකියා අවස්ථාවක් වුණත් ලබා ගන්න බැරිකමක් නෑ නේද?

ඔන්න එහෙනම් අළුත් මල්ලිගේ බැනර් පාඩම අහවරයි. එහෙමනම් යාළුවනේ අපි ඊළඟ පෝස්ට් එ‍කෙන් හමුවෙමු..................

අළුත් මල්ලිගේ ඊළඟ පෝස්ටුවෙන් බලමු කොහොමද අයිකන් එකක් හදාගන්නේ කියලා .. ඊටත් පස්සේ පෝස්ටුවෙන් ගේන්නේ කර්සර් හදන හැටි.....  ඊටත් පස්සේ ........???????????

17 comments:

  1. හොඳ ඇරඹුමක්... දිගටම ලියන්න... මගෙන් සුභපැතුම්. :)

    ප.ලි. ම්ම්ම්.. තව පුංචි දේවල් ටිකක් තියෙනවා. බ්ලොග් එකේ බැක්ග්‍රවුන්ඩ් එකත් එක්ක අකුරු කියවනකොට ඇහැට අමාරුවක් වගේ දැනෙනවා.. (මට විතරක් ද දන්නෙත් නෑ :D). කමෙන්ට් වෙරිෆිකේෂන් අයින් කරන්න....

    ReplyDelete
    Replies
    1. මේ පැත්තේ ඇවිල්ලා ගියාට ගොඩක් ස්තූතියි.ඒ වගේම අඩුපාඩු පෙන්නලා දුන්නටත්. මම බ්ලොග් ලියන්න අළුත්නේ. ඒ නිසා සයිට් එකේ තියෙන අඩුපාඩු කියලා දෙන එක නම් ගොඩක් ලොකු උදව්වක්.අකුරු කියවන්න ටිකක් අමාරුයි තමා නේද? මටත් ඒක අක්ක කිව්වමයි තේරුණේ.මේ ටික මං අද හදන්නම්.තව අඩුපාඩු තියෙනවනම් කියලා දෙන්න.තැන්කූ තැන්කූ..

      Delete
  2. ප.ප.ලි: ෆලෝවර්ස් ලිස්ට් එකත් දාන්න...

    ReplyDelete
  3. හොදයි යාළුවා දිගටම ලියන්න.සුබපතනවා ! මං හිතනවා ඔයාගේ බ්ලොග් එක හොදම බ්ලොග් එකක් වෙයි කියලා.

    ReplyDelete
    Replies
    1. තැන්කූ.තැන්කූ..මං වැඩිපුර දන්නේ නම් තාක්ෂණය සම්බන්ධ කරුණු තමයි. ඒත් විවිධ මාතෘකා ගැන පෝස්ට් ඉස්සරහට දාන්න බලාපොරොත්තු වෙනවා.ඇවිල්ලා ගියාට ගොඩක් ස්තූතියි..

      Delete
  4. අපූරු ලිපියක් යාලු..අනිත් අයට තමන් දන්නා දේ කියා දීම ගොඩක් වටිනවා..
    ඔබට සුභ පතනවා මම! :)
    ජය

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි ඇවිල්ලා ගියාට... ඒ වගේම ධෛර්යමත් කිරීමට... ආයෙමත් එන්න...

      Delete
  5. දිගු ගමනක් යන්නට කිරිල්ලිගෙන් සුභ පැතුම්..! තාරා කිව්ව කතාව මටත් දැනෙනව ඇස් වලට චුට්ටක් අමාරුයි.ඒත් කොල අත්තට නම් මම ආශයි..

    ReplyDelete
    Replies
    1. මේ පැත්තේ ආවට ගොඩක් ස්තූතියි... පෝස්ට් කියවනකොට ටිකක් ඇහැට අමාරුයි වගේ මටත් දැනෙනවා... මාසෙකට සැරයක් වගේ background image එක මාරු කරන්නයි හිතාගෙන ඉන්නේ... ආයෙමත් මේ පැත්තේ එන්න...

      Delete
  6. බැක්ග්‍රවුන්ඩ් එක නම් එල... හැබැයි අළුත් මල්ලි කීවට අළුත් අයියද මන්ද... හ්ම්ම් හ්ම්ම්... කොහොමහරි පෝස්ට් එක නම් හරිම ලස්සනයි... ගොඩක්ම වැදගත්... ඒත් ඉතින් අපි වගේ (මම වගේ) කම්මලියන්ට...... :)

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි මේ පැත්තේ ඇවිල්ලා ගියාට... මං ඉතිං පොඩි එකා නිසා මල්ලිම කියන්ට...ආයෙමත් මේ පැත්තේ එන්නකෝ...

      Delete
  7. දානවයි කියලා ඉස් ඉස්සරෝම දානවද අප්පා මෙහෙමත් ඒවා... ;)

    ඔන්න සුභපැතුම් ඉදිරි ගමනට...

    ReplyDelete
    Replies
    1. ඒකනෙ නේද.. බලන්නකෝ කරන වැඩ... ස්තූතියි මේ පැත්තටත් ඇවිල්ලා ගියාට...

      Delete
  8. නිස්කලන්කේ කරලා බලන්න ඕනේ. ස්තුතියි :)

    ReplyDelete
    Replies
    1. තැන්කූ තැන්කූ මේ පැත්තේ ආවට.. ආයෙමත් එන්ටකෝ....

      Delete
  9. හෑ.. මම කලින් ආවට මේ පෝස්ට් එක මිස් වෙලානේ. මරු ඈ.. ආයේ වෙලාවක කරලා බලන්න ඕනි...

    ReplyDelete
    Replies
    1. මේක තිබුනේ වෙන නමකින්නේ... ඒකෙන් අන්තර්ගතය කියවෙන්නේ නැති නිසා නම මාරු කළා... ඒකයි... ආයෙමත් එන්න‍කෝ එහෙනම්...

      Delete