Monday, October 15, 2012

[7] අත් නොහළ සිහිනය...

විශේෂ ස්තූතිය :
bbc.co.uk
guardian.co.uk
io9.com
sport.uk.msn.com
supersport.com
telegraph.co.uk

ඉතින් කොහොමද යාළුවනේ අළුත් තොරතුරු එහෙම...  ටික දවසකට පස්සේ නේද? මුලින්ම අපේ සදාදර සොයුරු පුබුදු මල්ලීට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා... කවදාවත් ඇහෙන් දැකලා නැති වුණත් ඔහු අපිත් එක්කම බ්ලොග් ලියපු අපේම බ්ලොග් යාළුවෙක්... ලබන මතු ආත්ම භවයක මෙවන් අකල් මරණයක් නොවේවා කියන එක තමා මුලු හදින්ම අපේ පැතුම.

වෙනදා වගේම මුලින්ම කරන වැඩේ කරලා ඉන්න ඕන නේ පෝස්ට් එක ලියන්න කලින්. ඒ තමා ස්තූති කථාව පවත්වන එක. අද ස්තූති කරන්න නම් කට්ටිය ගොඩයි... මම ලාංකිය එකට ඇප්ලිකේෂන් එකක් දැම්මනේ... ඉතින් ඒකට ගන්න ඡන්දෙදි මගේ බ්ලොග් එකටත් ගොඩක් කට්ටිය ඡන්දේ දාලා තිබුණා... ඉතින් ඒ හැමෝටම ස්තූති කරන්න ඕන...  ආය ස්තූති කරන්න ඕන පියුමි අක්කට... පියුමි අක්කා තමා මේ බ්ලොග් එක ඉස්සරහට ගෙනියන්න ඕන හැමදේම ටොකු ඇන ඇන කියලා දෙන්නේ... ඊළඟට ස්තූති කරන්න ඕන ගියපාර පෝස්ට් එකට කමෙන්ට් කරපු ඒ වගේම ඒ පෝස්ට් එක කියවපු හැමෝටම... තාම ලිව්වේ පෝස්ට් 7යි... ඒවත් තාක්ෂණික පැත්තට බර ඒවා... ඒත් ගොඩක් අය ඇවිත් කමෙන්ට් කරලා ගිහින් තිබුන නිසා ගොඩක් සතුටු හිතුණා...

ඔන්න දැන් අපි යමු අපේ අද පෝස්ට් එකට...

ඔස්කාර් පිස්ටෝරියස්... අහලා තියෙනවද මේ නම... 




අහලා නැතත් මූණ හරි දැකලා ඇතිනේ... ඔස්කාර් කියන්නේ හැම දේටම නෑ බෑ කියන අයට අභියෝගයක් කරපු විශිෂ්ඨ පුද්ගලයෙක් කිව්වොත් මම හරි... පොඩ්ඩක් බලන්නකෝ මේ රූපේ දිහා... දැකකම දුක හිතෙනවා... එයාගේ දණහිසෙන් පහල කකුල් දෙකම නෑ නේද?



හැබැයි මේ ඉන්නේ තවත් එක ආබාධිත පුද්ගලයෙක් නෙවෙයි. අති දක්ෂ මලල ක්‍රීඩකයෙක්, රගර් ක්‍රීඩකයෙක් වගේම දක්ෂ ටෙනිස් ක්‍රීඩකයෙක් කියලා කිව්වොත් ඒ දේ ඇත්තක් කියලා හිතාගන්නත් බෑ නේද? මේ තරම් ශාරීරික ආබාධයක් තියාගෙනත් ඔස්කාර් කොහොමද මේ දේවල් කරන්නේ? ඒ හැමදේම පිටිපස්සේ තියෙන්නේ ඔහුගේ අපිරිමිත ධෛර්යය. තමන්ගේ හැකියාව පිළිබඳව ඔහු තුළ තියෙන විශ්වාසය. ඒ වගේම දැඩි කැපවිම. විශේෂයෙන් සිහින අත් නොහැරීම...

ඔස්කාර් මේ ආබාධිත තත්වෙට පත් වුණේ ළදරු වියේදීමයි... ඔහුට උපතින්ම  දෙපා වල ඇටමිදුළු අහිමි විමේ රෝගයක් තිබුනා... ඔහුගේ වයස අවුරුද්ද පිරෙන්නත් කලියෙන්ම ඔහුගේ දෙපා සැත්කමක් මගින් ඉවත් කරන්න වෛද්‍යවරුන් තීරණය කරා...  මේ සැත්කම නිසා ඔහුට තම දෙපා අහිමි වුණා... එතකොට ඔහුට වයස මාස 11 ක් විතර ඇති...

ඔස්කාර් පාසල් ගියේ ජොහැනස්බර්ග් නුවර ප්‍රිටෝරියා විදුහලට. ඔස්කාර්ගේ ජිවිතේ වෙනස්ම මාර්ගයකට හැරවුණේ මේ පාසලේදි... ඔහුට වයස අවුරුදු 11 වෙනකොට ඔස්කාර් පාසලේ රගර් කණ්ඩායමටත් ඇතුළත් වෙලා හිටියා... ඊට අමතරව ටෙනිස්, ජල ක්‍රීඩා කියන දෙකටම ඔස්කාර් දක්ෂයෙක්... ඒ විතරක් නෙවෙයි... ඔස්කාර් ඉගෙනගන්නත් බොහොම දක්ෂයි... පාසල් කාලය අවසානයේ ප්‍රිටෝරියා විශ්වවිද්‍යාලයට ඇතුළත් වුණ ඔස්කාර් එම විශ්ව විද්‍යාලයෙන් වාණිජ්‍ය උපාධියත් ලබා ගත්තා... 




ඔස්කාර් ලෝක වාර්තා තියන්න පටන්ගත්තේ 2004 දි. 2004 දි ඇතන්ස් නුවර තිබුන පැරා ඔලිම්පික් තරඟාවලියේදි මිටර් 200 ඉසව්ව නියෝජනය කරපු ඔස්කාර් තරඟය තත්පර 21.97 කින් අවසන් කරලා ලෝක වාර්තාවක් තිබ්බා... ඒ තරඟය තිබුනේ ආබාධ සහිත වූවන් අතර. ඔස්කාර්ගේ ඊළඟ අරමුණ වුනේ සාමාන්‍ය ක්‍රීඩකයන් සමග තරඟ කරලා වාර්තාවක් තියන එක... මේ තියෙන්නේ ඔස්කාර් ඒ සිහිනය සැබෑ කර ගත්ත හැටි...

වර්ෂය = 2005
තරඟ ඉසව්ව = මීටර් 400
නිමා කළ කාලය = තත්පර 47.34
වාර්තාව = ලෝක වාර්තාව

වර්ෂය = 2005
තරඟය = පැරා ඔලිම්පික්
තරඟ ඉසව්ව = මීටර් 100
ජයග්‍රහණය = රන් පදක්කම

වර්ෂය = 2005
තරඟය = පැරා ඔලිම්පික්
තරඟ ඉසව්ව = මීටර් 200
ජයග්‍රහණය = රන් පදක්කම

වර්ෂය = 2006
තරඟය = ආබාධ සහිත වූවන්ගේ ලෝක ශූරතා මලල ක්‍රීඩා තරඟාවලිය
තරඟ ඉසව්ව = මීටර් 400
ජයග්‍රහණය = රන් පදක්කම

වර්ෂය = 2006
තරඟය = ආබාධ සහිත වූවන්ගේ ලෝක ශූරතා මලල ක්‍රීඩා තරඟාවලිය
තරඟ ඉසව්ව = මීටර් 200
ජයග්‍රහණය = රන් පදක්කම
වාර්තාව = ලෝක වාර්තාව

වර්ෂය = 2006
තරඟය = ආබාධ සහිත වූවන්ගේ ලෝක ශූරතා මලල ක්‍රීඩා තරඟාවලිය
තරඟ ඉසව්ව = මීටර් 100
ජයග්‍රහණය = රන් පදක්කම

වර්ෂය = 2007
තරඟය = දකුණු අප්‍රිකාවේ පැවති මලල ක්‍රීඩා තරඟය
තරඟ ඉසව්ව = මීටර් 400
කාලය = තත්පර 46.56
වාර්තාව = ලෝක වාර්තාව

වර්ෂය = 2007
තරඟය = ජොහැන්සන්බර්ග් හි පැවති මලල ක්‍රීඩා තරඟය
තරඟ ඉසව්ව = මීටර් 100
කාලය = තත්පර 10.91
වාර්තාව = ලෝක වාර්තාව

වර්ෂය = 2007
තරඟය = ජොහැන්සන්බර්ග් හි පැවති මලල ක්‍රීඩා තරඟය
තරඟ ඉසව්ව = මීටර් 200
කාලය = තත්පර 21.58
වාර්තාව = ලෝක වාර්තාව




හ්ම්ම්... දැක්ක නේද දක්ෂයාගේ හපන්කම්? මොකක්ද මේ ඔස්කාර්ගේ ඊළඟ ඉලක්කය? ඒ සාමාන්‍ය ක්‍රීඩකයන් එක්ක ඔලිම්පික් තරඟාවලියට සහභාගී වෙන එක...

ඒ 2008 දී... මතකද ඔලිම්පික් තරඟය තිබුනේ චීනයේ බීජිං වල නේ... මේ තරඟාවලියට සහභාගී වෙන්න ඉල්ලුම් කරපු පිරිස අතරේ ඔස්කාරුත් හිටියා... මේක දැකපු ජගත් මලල ක්‍රීඩා සම්මේලනය විකාර ප්‍රශ්ණයක් මතු කළා... ඒ තමයි ඔස්කාර්ගේ කෘතීම දෙපා වලින් පුංචි හරි වාසියක් ඔස්කාර්ට තරඟ දිනද්දි ලැබෙනවද කියන එක... මේ පාද නිමවලා තිබුනේ කාබන් මිශ්‍රිත ෆයිබර් වර්ගයකින්... මේ වෙලාවේ කරන්න ඕන ඒකෙන් ලැබෙන වාසි අවාසි බල බල ඉන්න එකද, නැත්නම් මේ විශිෂ්ඨයට අවස්ථාවක් ලබා දෙන එකද කියලා ඔයාලම කියන්න බලන්න... 




ඒ වනකොට බොරු කකුල් වල වාසි අවාසි ගැන මේ සම්මේලනයේ නීති ලියවෙලා තිබුනේ නෑ... ඒ නිසා ඔස්කාර්ට තරඟයට ප්‍රවේශ වෙන්න ගැටළුවක් ඇත්තටම තිබුනේ නෑ... ඒත් ඔස්කාර්ගේ පැමිණීමත් එක්ක හැමෝම මේ ගැන කතාවෙන්න පටන් ගත්තා... කාගේ වුණත් තීරණය වුනේ ඔස්කාර්ට අවස්ථාව ලබා දිය යුතුයි කියන එක... ඒත් ජගත් මලල ක්‍රීඩා සම්මේලනය මේ වෙලාවෙදි ඔස්කාර්ට එරෙහි වුණා... ඔවුන්ගේ නිගමනය වුණේ ඔස්කාර් යන යන තැන දිනන්නේ එයාගේ මේ බොරු කකුල් දෙක නිසා කියලා... ඒක එහෙම වෙන්න පුළුවන්ද? 



කොහොම වුණත් මේ සිද්ධිය මුලට දාලා ජගත් මලල ක්‍රීඩා සම්මේලනය තිබුන නීති රීති සංශෝධනය කළා... අළුත් නීති වලින් කියවුනේ “අතිරේක වේගයක් සඳහා උපකාරී විය හැකි කිසිදු තාක්ෂණික උපකරණයක් භාවිතා කිරිමට කිසිදු ක්‍රීඩකයෙකුට අවස්ථාව ලබා නොදෙන බව”...  “කිසිදු ක්‍රීඩකයෙකු” කියන වචන පෙළ අතරේ ඔස්කාරුත් හිටිය නිසා ඔස්කාර්ට මේ තරඟාවලියට සහභාගී වීම තහනම් වුණා...

ඒ වෙලාවේ ඔස්කාර්ට මොනවා හිතෙන්න ඇත්ද?

මෙතරම් බාධක ජය අරගෙන ඔලිම්පික් දක්වා ආපු ඔස්කාර් මේ හීනය අතහරින්න කීයටවත් එකඟ වුණේ නෑ... ඔහුට මෙතනදි කරන්න දෙයක් තිබුනේ නැති වුණත් ඒ වෙනුවෙන් ලොකු හඬක් නගන්න, මේ නොලැබීම ලැබීමක් කර ගන්න එදා හිතා ගත්තා... OLYMPIC DREAM සංයුක්ත තැටිය එළිදැක්වුණේ එහි ප්‍රතිඵලයක් විදිහට... ඒ වර්ෂ 2008 දිම ඉතාලියේදි... OLYMPIC DREAM, RUN BOY RUN වගේ සින්දු වල ඔස්කාර්ගේ දුක හොඳින්ම ලියවෙලා තියෙනවා...

මේ වෙනුවෙන් ඔස්කාර් කරපු ඊළඟ අරගලයට ඉතාලියේ ක්‍රීඩා මාධ්‍යවේදී ශියානෝ මාලෝත් එක්වුණා... ඔස්කාර් මාලෝ සමග ස්වයං චරිතාපදානයක් ඉතාලි බසින් එළිදැක්වුවා... ඒ තමයි DREAM RUNNER. 




මේ පොතම පස්සේ කාලෙක ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය වුණේ BLADE RUNNER කියන නමින්... 2008 අවුරුද්දේදී ටයිම් සඟරාව නම්කරපු “2008 TIME 100” කියන විශිෂ්ඨයන් 100 අතරින් තුන්වෙනි ස්ථානය ලබා ගත්ේ ඔස්කාර්... 
අන්තිමේදි ඔස්කාර්ට තමන්ගේ හීනය හැබෑ කරගන්න අවස්ථාව ලැබුනා... ඔස්කාර්ගේ කෘතීම පාද නිසා විශේෂ අනුබලයක් තරඟ දිනන්න ලැබෙන්නේ නෑ කියලා ක්‍රීඩා සඳහා වන උසාවිය තීරණය කළා... සමහරවිට ඔස්කාර් ජගත් මලල ක්‍රීඩා සම්මේලනය කියපු දේ පිළිඅරගෙන නිහඬව හිටියා නම් ඔහුට මේ දේ නොලැබී යන්න තිබුන ඉඩකඩ බොහොම වැඩියි... 



ඔස්කාර්ගෙන් ඔබට මට ලංකාවේ ලෝකේ හැමෝටම ගන්න තියෙන ආදර්ශය මොකක්ද? ඔහුගේ ගමනේ ආරම්භය හා අවසානය අතර මේ තියෙන විශාල පරතරය පිටිපස්සේ, ඔහු ලබා ගත්ත මේ අති විශිෂ්ඨ ජයග්‍රහණ පිටිපස්සේ තියෙන එකම රහස මොකක්ද? ඒ තමා සිහිනය අත් නොහැරීම...

ඔබත් මමත් හීන දකිනවා... ඒත් ටික දවසක් ගියාම ඒ හීනය පැත්තකට දාලා අළුත් හීනයක් එක්ක ජීවත් වෙනවා... මේ හීන අත්හැරීමත් එක්ක කවදාවත් ජයග්‍රහනයක් කරා යන්න පුළුවන්ද? බෑ... ඔස්කාර් දැක්ක එකම එක හීනේ තුළ ඔහු ජිවත් වුණා... මොනම හේතුවක් නිසාවත් ඒ හීනේ අත්හරින්න ඔහු ලෑස්ති වුණේ නෑ... ඔහු හැබෑවටම ජය ගත්තා...




මේ දේ ඔබටත් අදාළයි... මේ දැන්ම ඔබේ සිහිනය පසුපස එළවන්න පටන් ගන්න...

සිහින අත් නොහරින්න...

(මෙහි ඇති සියල්ල මාගේ දැනුම පරිදිය... එහි සංශෝධන වෙතොත් කරුණාකර ඒවා නිවැරදි කිරීමට සහය දෙන්න... ස්තූතියි...)

සමුගන්නට පෙර...

 |        ඔබට ජය ගත හැකිය.... ඔව්. ඔබ ජය ගත යුතුය...      |